Apr 24, 2010

පඬුරු දාල යන්න...

ලස්සන මාතෘකාවක් දැම්මට ලියන්නෙ නම් ආතල් ගන්න කතාවක් නොවෙයි. මේක ලියන්නෙ වෙන කරන්න දෙයක් නැති කමට...හැබැයි මෙමගින් මම කියන මේ ප්‍රශ්නය විසදේවි කියල නම් කීයට වත් හිතන්නෙ නෑ. ඒ වගේම ඔක්කොම 'එහෙයි' කියල ඔලුව වනාවි කියලත් හිතන්නෙ නෑ. කස්ටිය මේව ගැනත් ටිකක් දැනුවත් උනොත් ඒ ඇති...

සිද්ධිය පටන් ගන්නෙ මෙහෙමයි. කාලෙක ඉදල මට උන බාරයක් ඔප්පු කරන්න කියල සති ගානක ඉදල ගෙදරින් කියනව. campus පටන් ගත්තාම මොන බාරද කියල හිතල vacation එක ඉවර වූ දවසේ (18) ගියා පන්සලට බාරය ඔප්පු කරන්න කියල. (අදාල පන්සල හා දෙවියන් මෙතැනට අදාල නැත.)

පුරුදු විධිහටම බුදුන් වැදල ඉවර වෙලා ගියා දේවාලය ඇතුලට. එදා ඉරිදා දවසක් නිසා සෑහෙන සෙනගක් දේවාලය ඇතුලෙ හිටියා.දේවාලයේ වැඩට කපුවන් දෙතුන් දෙනෙකු සිටියත්,බාර ඔප්පු කරන වැඩ කලේ පහක් හයක් එක පාර අරගෙන. ඔන්න ඉතිං අපේ වාරයත් ආවා. අපේ බාරයත් එක්ක තවත් බාර පහක් විතර ගත්තා.

කපුවා : තමන්ගෙ වට්ටිය බලා ගන්න.
කපුවා : තම තමන්ගෙ වට්ටිය බලා ගන්න.

මමත් ඉතිං සීන් එක බලා ගෙන හිටියා මොකද වෙන්නෙ කියල.

කපුවා : '--ගාථා කිවීම ඇරබීය..'

මම නිකමට බැලුව අනික් පැත්තෙ අය දිහා. පුදුමාකාර භක්තියකින් යුතුව ඔවුන් වැද නමස්කාර කර ගෙන සිටිති.

කපුවා : "...යන සියළුම අපල රෝග දෝෂ නිවාරනය වී...දෙවිඳුගේ බලයෙන්..."

මම නැවතත් එදිරිපස වූ ඒ විශාල වූ දේව රූපය දෙස බැලුවෙමි. මේ අතර එක් වරම මගේ ඇස් නතර වූයේ එහි වූ පූජා වට්ටි දෙස හා ඒවා අතර සිර කර තිබූ පඬුරු වෙතයි.කොච්චර උනත් පන්සල හරියට නඩත්තු වෙන්නෙ මිනිස්සු දෙන මේ සල්ලි නිසානෙ.මම හරිම උපේක්ෂා සහගතව සිතුවෙමි.


කපුවා තවම තමන්ගේ කාරිය ඉවර කර නැත.ඒ අතර මට පේනව, එක් පූජා වට්ටියක තිබුණු රුපියල් සියයේ නොට්ටුවක් වැටෙන්න ඔන්නම එන්න.ඒ මොහොතෙම කපුවාගේ දේව කාරිය අවසාන විය. ඒ සමගම තවත් කපුවෙක් ඇවිත් අපේ වට්ටියේ පඬුරු ඉවත් කර මගේ අතට දුණි. මිනිහ ඊලග වට්ටියෙ පඬුරු ගන්න හදන කොට බඩු නෑ, වැටිල. මම කලින් සීන් එක දැක්කට මම වත් හිතුවෙ නෑ වැටිල තියෙයි කියල.කපුව පොඩ්ඩක් බිම බලල හෙන ගැහුව වගේ මූ කියපි,

"කෝ මේකට පඬුරු දාල නෑනේ...? " කියල.

ඌ එක කියපු කාලකණ්නි විඩිය මට තාමත් මතකයි. මුගේ තියෙන මූසල කමට ඒක ඒ මොහෙතේ ඒක කිය උනා කියමුකො. කරුමෙ කියන්නෙ අනික් වට්ටියෙත් පඬුරු තිබුනෙ නෑ. ඒ පාර මූ ටිකක් තද වෙලා වගේ කියපි,

"කෝ මේකෙත් පඩුරු දාල නෑනෙ..." කියල.

මම ටිකකට බැලුවා එතන මිනිස්සු දිහා. අනේ උන් කියන්න දෙයක් නැතුව "දැම්ම දැම්ම.." කියල කිව්ව. මොකද ඉතින් අර හාලිය වටේ ඉන්න ඔක්කොමටම ඇහෙන්නනෙ කෑ ගැහුවෙ.දැන් ඒ මිනිස්සු ආපු කාරණය හරි යයිද, අර වගේ කතා කලහම. එතකොට අර මිනිස්සුන්ට ඒ පූජා ස්ථානය ගැන හිතට යන දේ මොකක්ද?මොනවත් නෑ පන්සලේ නම කිව්වාම කඩයක් මතක් වේවි.

මට තේරෙන් නෑ ඇයි මිනිස්සු දෙවියන් ඉස්සරහ ඉද ගෙන මේ වගේ business කරන්නෙ කියන එක...? නැත්නම් දවසට සිය ගනනක් පුද පූජා කරන තැන මූ එක වට්ටියක දෙකක පඩුරු නෑ කියල ඕක කියවයිද..? අනික් අතට ඌ පඩුරු කියල හිතන් ඉන්නෙ නෝට්ටුනෙ.

සාරාංශව කිව්වොත් මම මේ දැක්ක ඇත්ත ඔබ හා බෙදා ගත්තෙ අද පූජා ස්ථාන කියන තැන් වලට වෙන්න යන දේ ගැන හිතලයි..තමන් පිරිසිදු සිතින් දෙවියන්ට පුදන දේට පඬුරු දෙනවාද නැද්ද කියන දෙය තමන්ට බාරයි.එයයි බලකොටුවේ නීතිය.මම කියන්නෙ නෑ හැම තැනක්ම මෙහෙම බව. නමුත් පොඩ්ඩක් විමසිලිමත්ව බලන්න , ඕන තරම් හොයා ගන්න පුලුවන්. මුලින්ම මේ කතාවට පන්සලේ නම අදාල නෑ කිව්වෙත් ඒකයි. මේ ලිපිය ලියන්න තවත් හේතුවක් තමයි අර සිද්ධිය අත් විදි උන්ට සාධාරණයක් ඉටු කරන්න.

ඒ වගේම උදේ සවස රූපවාහිනියට ඇවිත් සංස්කෘතිය කන පරජාතිකයන්ට බනින උගතුනි...! සංස්කෘතිය රකින තැනම සිට සංස්කෘතිය කන මේ වගේ ස්වදේශික බලවේග විනාශ කරන්න ක්‍රමයක් හදන්න.මොකද ඒක රටේ නීති යොදනවාටත් වඩා හොදින් කරන්න පුළුවන් ඔබටයි. මම එය දැක අදෝනා දුන් තවත් එක් අයෙකු පමණි.
එසේ නොවුනහොත් නුදුරු අනාගතයේ "පුද පූජා කල හැක්කේ නොට්ටුවක් තිබිය හැක්කන්ට පමනක්ද..?" යන ප්‍රශ්නය ඔබ හමුවේ තබමි...

Apr 20, 2010

ආදරයේ ඇල්ගොරිදමය...


දෙසතියකට නොඅඩු කුළුදුල් ප්‍රේමයක
ඔබත් මමත් තනි වූ ලෝකයේ...
සෑම හද ගැස්මකම...
නුඹේ නම මට සුසුමක් විය.
නමුත් ඒ බවක් නුඹ නොදැන,
නුඹ හිතින් දුක් විද,
මා නොඇමතූ වරදට,
පුරා දස පැයක් වචනයකුදු නොහලවා...
මට දුන් දඩුවමින්,
ඉගෙන ගතෙමි හොද හැටි
ආදරයේ ඇල්ගොරිදමය...

Mar 7, 2010

මුහුදු වෙරළේ රැයක්...

මම අද කියන්න යන්නෙ මම මගේ ජීවිතයේ සපුරා ගත් එක ඉලක්කයක් ගැන.ඒ මොකක්ද..? ඉලක්කයක් සපුරා ගත්ත කිව්වාම ගොඩක් අයට මතක් වෙන්නෙ විභාගයකින් හොදට සමත් වීම එහමත් නැත්නම් වටිනා දෙයක් මිලට ගැනීම වගේ දෙයක්. ඒත් මේක වෙනස් ආකාරයක, මා සපුරා ගත් ඉලක්කයක් වගේම ලබා ගත් වෙනස්ම අත්දැකීමක්.
ඒ තමයි කැළයක් මැද කඳවුරක් තනා ගෙන රැයක් ගත කිරීම. ඔබ මෙය දැන් කියවන කොට simple දෙයක් කියල හිතුනට , ඔබත් පොඩි කාලෙට ගියොත් මතක් වේවි...මේ වගේ දෙයකට ඔබ කොච්චර ආසාවෙන් ඉන්න ඇතිද කියල. බොහෝ අයට මේ වගේ දේවල් හීන විදිහටම තිබිල බොඳ වෙලා යනවා. අන්න ඒ නිසා තමයි මම ඉලක්කයක් සපුරා ගත්තා කියල මුලින්ම කිව්වෙ.
කතාව පටන් ගන්නෙ අපේ vacation එකෙන්. අපි කස්ටිය මේ පාර යන සෙට් උනේ දකුණු රටේ සංචාරය කරන්න. ඒ අනුව අපේ මේ කඳවුරු ගහන වැඩේ සෙට් කලේ අලියාගේ තාත්තාගේ මූලිකත්වයෙන්. ඒ අනුව අපිට කඳවුරු ගහන්න ලැබුනෙ හම්බන්තොට වෙරළ බඩ අසල කැළයක. කොහොමත් එතනට යන කොට රෑ අට විතර වෙලා ඇති.අවට පරිසරය ගැන කිව්වොත් එදා හරිම පැහැදිලි දවසක්. පහුවදා පෝය දවසක් නිසා, හඳ එලිය වැටුණු මුහුදු රැල්ල හොදට පේනව.Camping වලට කියාපු දවස. වෙරළ තීරයට පිටින් තිබ්බෙ ඝණ කැළෑව සමඟ කටු පදුරු. ඒ හරියෙ වෙරළ විශේෂයන් වෙන් කරල තිබුනෙ කැස්බෑවන්ට බිත්තර දැමීම සදහායි.


අපේ කස්ටියට හිටියෙ අලියා,හුරේ,මරා,ගැමා,ජින්තු,අත්තා,ලකයා,පුස්සා,කලියා,ඔකා සහ මම. ගිහිල්ල තියන සෙට් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.මම එහෙම කිව්වෙ මොකද කියනව නම්, මේ වගේ දෙයක් කරන කොට ඕන දේකට ready කස්ටියක් ඉන්න ඕනෙ.මොකද සමහර අය ඉන්නව මේ වගේ දෙවල් වලට එච්චරම කැමති නැති අය.


ඔක්කොටම කලින් වැඩේ උනේ ගිණි මැලය ගහන එක.කස්ටියක් ඒකට දර හොයන අතර තුර තවත් කස්ටියක් ආහාර පාන ආදිය පිළියල කිරීමට සූදානම් උනා. දර වලට ගන්න තිබුනෙ කටු ගස් නිසා වැඩේ ලේසි උනේ නෑ.ඒ මදිවට කරුවලේම විදුලි පන්දම් එළියෙන් දර හොයන එක ලේසි උනේ නෑ.ඒ වගේම වෙරළ ආසන්නයේ මේ වගේ වැඩක් කරන කොට වැලි පොළගා වගේ සර්පයන් ගැන අවධානයෙන් ඉන්න ඕනේ.ගිණි මැලය ගැසීමටත් කලාවක් තියනවා.අපි නම් කලේ විශාල කොටයක් හොයා ගෙන ඊට උඩින් දර දාපු එක. එවිට දිගු කාලයක් දර මැලය ස්ථාවරව පවතිනවා.ඒ වගේම රෑ තිස්සේ ඇති වෙන්න දර හොයා ගන්න ඕනෙ. මැලය පත්තු කරල ඒක වටේට මුහුදු හුලං වැදි වැදී ඉන්කොට පුදුමාකාර හැගීමක් හිතට එනවා. මොකද ගෙදරට වෙලා හිටිය නම් ඇදට වෙලා නිදා ගන්නව ඇරෙන්න මහ රෑ මොන මුහුදු හුලංද..?


ඔක්කොම හිතන් හිටපු විදිහටම උනත් මාළු පුච්චන වැඩේ නම් එච්චර ලෙසි උනේ නෑ. හොදට පිච්චෙන්නත් ඕනෙ හැබැයි කර වෙන්නත් බෑ. ගිණි මැලය ගහල කෑම උයල මේ වැඩ ටික කරල ඉවර වෙන කොට රෑ දහය පහු උනා. ඊට පස්සෙ තමයි කට්ටිය වෙරළේ සෙල්ලමට පිටත් උනේ.


මට එදා දවස කියන්න බැරි තරම් නිදහස් දවසක්. පුදුම සැහැල්ලුවක්. ඒ නිදහස මට වගේම ගිය කාටත් හොද හැටි දැනුනා. ඒක හොද හැටි ඔප්පු උනේ මරා නිසා තමයි. මොකෝ අපි මුහුදු වැල්ලට වෙලා ඉන්න කොට මරාගෙ ලකුනක් වත් නෑ. ගිණි මැලය පැත්තෙත් මිනිහ පේන්න නෑ. කවුද දන්නෙ මිනිහට මොනව උනාද කියල. අන්තිමට බලන කොට මිනිහ වැල් ඇදක් හොයා ගෙන handfree එකත් කනේ ගහ ගෙන හොද හැටි නිදි.අපි කස්ටියම කිහිප වරක්ම රැල්ල පාගන්නත් ගියා. හැබැයි එදා රැල්ල ටිකක් සැරයි. ඒ වගේම කරුවලේ මුහුදු රැල්ල කකුලේ දැවටෙන කොට අමුතු භයකුත් හිතට නොදැනෙනා නොවෙයි.. ;-)


මෙහෙම ඉන්න අතරදි රෑ දොළහට විතර සිංදුවක් එහෙම කියා ගෙන ඉන්න කොට අපි ගාවට ආව අමුතුම සත්තු තුන් දෙනෙක්. මම නම් උන්ව කලින් දැකල තිබුනෙ නෑ. මොකද කියනව නම් උන් ඇවිල්ලා කකුල් දෙකේ ජාතියෙ. හැබැයි අපේ ජින්තුව උන්ට හොද නමකුත් එවෙලෙම දැම්මා. කස්ටියට දැන ගන්න ඕනෙ නම් මිනිහගෙන් අහන්න.මේ වෙලාවේදී කස්ටිය ටිකක් සද්ද නැතුව හිටියෙ මොකද වෙන්නෙ කියල බලාගෙන. මොනව උනත් පිට පලාතක්නෙ. අහල පහල එකෙක් කියල හිටියෙ අලිය විතරයි.මේ නිහැඩියාව බිඳ දැමුවෙ අපේ පානදුරේ වීරය. Trip එක යන්න කලින් ඉදලම ගැමුණුව plan කර ගෙන හිටියෙ මොකක් හරි වීර කමක් කරන්න. මිනිහට එවෙලෙ ඒක මතක් වෙලාද කොහෙද එකපාරටම පැනපි ඉස්සරහට...ගැමාගෙ මේ චන්ඩි කමට භය වුන උන් ආයිත් කැළට වැදුනා.


පස්සෙ පාන්දර වෙන කොට කට්ටියම නින්දට වැටුණා. ඒ අතරෙදි මමයි, ගැමයි, ජින්තුයි පැදුරකුත් අරන් ගියා මුහුදු වැල්ලට තවත් රැල්ල දිහා බලන් ඉන්න. ඒ අතරට ලකයයි , කලියයි සෙට් උනේ උණුම උණු සුප් කෝප්ප හතරකුත් එක්ක. එකත් හිමින් හිමින් රස බලල වැල්ලේම වැතිරුණා. මම කල්පනා කළා. දිගටම...ගොඩක් දේවල්...මොකද ඒ වගේ දවසක මට නිදා ගන්න ලෝභ හිතුනා.පාන්දර හතර විතර වෙනකම් මම ඇහැරිල හිටිය මට මතක තරමට.


ආපහු පහට විතර නැගිටුනේ අපිව ආපහු ගෙන යන්න වාහනය ආපු නිසා. ඒ නැගිටින කොට මම මීට කලින් සැබැවින් දැක නැති මනරම් දර්ශනයක් දුටුවා...කලින් දින මසුන් ඇල්ලීමට නික්මුනු පොඩි පොඩි බෝට්ටු ගොඩක් ආපහු ගොඩ බිම බලා එනවා. හරියට මුහුදෙ පා කරපු පහන් ගොඩක් වගේ. හැම බොට්ටුවකම එලිය දැල් වූ පහනක් බැගින් තිබුනා...ඉතින් අන්තිමට ඒ සුන්දර අත්දැකීම හිතේ රදවා ගෙන කස්ටියම ආපසු ගමන් පියමැන්නා...

මම මේ අත්දැකීම ඔබ හා බෙදා ගත්තේ ඉන් ලැබෙන තෘප්තිය වචනයෙන් කියා නිම කල නොහැකි නිසාවෙනි. ඒ වගේම මෙය කියවීමෙන් ඔබත් මෙවැනි නිදහසක් බුක්ති විදීමට ඇලුම් වී නම්, අන්න එතැන මේ ලිපිය සාර්ථකත්වයට පත් වේවි.නමුත් මා කලින් කිව්වා සේම මේ වගේ දෙයක් කිරීම නම් කලින්ම හොද සැලැස්මක් තිබෙන්න ඕනෙ. ඒ වගේම මුහුදු වෙරළක් අසල කඳවුරු තැනීමෙන්, වැඩි රසස්වාදයක් බුක්ති විඳ හැකි බවයි මගේ විස්වාසය. ඒ වගේම, මෙවැනි කටයුත්තක දී ඒ අවට ස්වභාවධර්මයාට හානි නොකිරීමත්, ස්වං වගකීමෙන් හැසිරීමත් අනිවාර්ය වේ.

Feb 20, 2010

බලකොටුවට පාර කපමි...

මේ මගේ පළමු blog සටහන. හරිම අලුත් බවක් හිතට දැනෙනව. මොකද මම ආසාවෙන් අනිත් අයගෙ blog කියෙව්වට මම මගේ දෙයක් කියල ලියන්න පටන් ගත්තෙ අදනෙ...ඒ වගේම මම දැඩි සේ විස්වාස කරන දෙයක් තමා "අප යම් දෙයක් ලබා ගැනීමට ඒ දෙය වෙනුවෙන් අපි කැප විය යුතුයි..." යන බව. ඉතින් අන් අයගේ blog කියවල දැනුම ලබන මගෙන් මෙතුවක් ඉටු නොවූ දෙයක් ඒක.

ඒ ඔක්කොමත් හරි මම මේකට නමක් හිතන්න ගිහින් වැටුන අමාරුවක්...කොහොම හරි මම අන්තිමට දාපු නම තමා ඔය තියන්නෙ. මේකට ලොකු හේතුවක් ඇතුව දැම්මෙ...හැබැයි මට ඒ අදහස එක පාරට තේරුම් කරන්න අමාරුයි...සමහර විට ඒකට ටික කාලයක් යාව්. එය බලන ඔබලාම තීරණය කරත්වා...!
මෙහිදී මට සිදු වූ එක සිද්ධියක් මතක් කල යුතුයි. දවසක් යාලුවෙක් එක්ක blog ගැන කතා කරනකොට මම ඇහුවා..."මචං මේ ඇකඩමික් අස්සේ තව blog ලියන්න වෙලා තියෙනවද කියලා." මේක අහපු පොර මට කිව්වේ..."මචං මේක කරන්නේ තවත් වැඩ ගොඩ කර ගන්න නෙමේ. මේක ලියන්නෙ හිත නිදහස් කරන, ඒ වගේම වටිනා දෙයක් විදිහටයි..." කියල. ඒ කවුරුත් නෙමෙයි, අපේ ක්‍රිශාන් සහොදරයායි (අලියා). උඹ කිව්ව කතාව නම් හරි මචො, උඹට ඔය සිද්දිය අමතක උනත් මම ඒක හිතේ තියා ගෙන හිටියා. ඔන්න අද ඒක ක්‍රියාවට නැංවුවා.

ඉතින් ඔය ටික තමා ඔක්කොටම කලින් මට කියන්න තියෙන්නෙ. අදට මම නවතිමි.